Thursday, August 23, 2012

119 මඩිස්ස + මඩිස්සලේ නිශාන් = ?????


මඩිස්ස කියන්නේ මටමයි මමයි මඩිස්සයි එකක්.මේකේ මට හිතුන දේවල්,මට වුන දේවල් අනන්තවත් ලියවිලා ඇති.ඒත් මේක පීරපු එකෙක්ට මගේ ජීවිතය ගැන
යම් හෝඩුවාවක් හරි අස්සක මුල්ලක තියෙන්න එපැයි.අද මම ලියන්න යන්නේ මගේම කතාවෙන් කොටසක් ඒත් මට මේක හරියට ගලපගන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ
මේ ලිපියට මට හිට්ස් ලැබුනත් එකයි නොලැබුනත් එකයි කොමන්ට්ස් වැටුනත් එකයි නොවැටුනත් එකයි මොකද මේක මගේ ජීවිත කතාව.අග මුල මාරු වෙච්ච තැනුත් ඇති.තව දුරටත් කියවනවා නම්
කැමති නම් විතරක් කියවන්න මොකද මේක හැමෝටම මෙලෝ රහක් නැති ලිපියක් වෙන්න පුළුවන්.


හැමදාම ගෙදරට වෙලා ඉඳලා ඇති වෙලා කලින් ලිපියක මම ඒ ගැන කිව්වනේ මට සෙට් වුන අපූරු ජොබ් ටිකක් එක්කම.එතකො‍ට DDT
අයියා කිව්වේ හිත කැමති නිදහස් ජොබ් එකක් කරන්න කියලා.මගේ අම්මා කැමති නැහැ මම ජොබ් එකකට යනවට.
පොඩි කාලේ ඉඳන්ම මම මුහුණ දුන්නේ ප්‍රශ්න වලට අම්මයි තාත්තයි වෙන්වුණේ මම පොඩි කාලෙදිම
ඒක නිසා අවුරුදු දෙකේ ඉඳන්ම අම්මා මාව තනියෙන් හැදුවේ.මාව ඉස්කෝලේ යවන්න අම්මා සල්ලි හෙව්වේ අච්චාරු විකුණලා.
වත්තක් වත්තක් ගානේ ගිහින් වෙරළු එකතු කරලා අඹ,අන්නාසි සල්ලි වලට ගෙනල්ලා හදන අච්චාරු විකිනුනේ
මාර විදියට,පස්සේ අම්මා කල්පිටියේ කකුල් පිච්චෙන වැල්ලේ ගිහින් කරවල ගෙනල්ලා ඒවා විකුනලා මගේ බඩත් පුරවලා ඉස්කෝලේ ඇරලා ඕන කරන පොත් පත් අරන් දුන්න ඒවා මට අමතක නැහැ


පස්සේ අම්මාට කුවේට් වන්දිය හම්බුනා ඒ සල්ලි වලින් තමයි ගේ පොඩ්ඩක් හදාගත්තේ කලින් හිටියේ
පැද්දී පැද්දී තිබ්බ ලෑලි ගේක.ලෑලි ගේ කඩලා සිමෙන්ති මැට්ටෙන් ගේ බාගෙට හදාගත්තා.
අදටත් තියෙන්නේ ඒ බාගෙට හදාගත්ත ගේ.ඒක නිසා මම ගෙදර ඉඳං ගත්ත එක ෆොටෝ එකක්වත් අප්ලෝඩ් කරලා නැහැ.
හැමෝම තට්ටු දෙකේ ගෙවල් වල ඉඳං ගහපු ෆොටෝස් දාද්දි මම විතරක් කොහොමද බ්ලොක් ගල් බිත්ති වල ෆොටෝස් පෙන්වන්නේ?.

පස්සේ මම ටිකක් ලොකු වෙද්දී අම්මා පටන් ගත්තා පොඩි බිස්නස් එකක් ලී සම්බන්දව.
ඒකෙන් තමා ඊටපස්සේ අම්මගෙයි මගෙයි ජීවිත ගෙවුනේ.මේ බිස්නස් එක කරද්දී
අම්මා ගොඩක් පිරිමි එක්ක හැප්පි හැප්පි තමා බිස්නස් එක කරගෙන ගියේ.අන්න ඒක නිසා අම්මා ටිකක් සැර පරුෂ කෙනෙක් වුනා.
මම එයාට කොච්චර ආදරේ කරත් ඒක අම්මට පෙනුනේ නැහැ.

මම ඉස්කෝලේ ගිහින් ඇවිත් කරේ බිස්නස්.බඩු ගන්න එන මිනිස්සුන්ට ඕන කරන ලී සහ ඒ ආශ්‍රිත බඩු උස්සලා කරලා මගේ අත පයත් ටිකක්
රළු වුනා.අත්වල දාපු කරගැට අදටත් තියෙනවා.ඉස්කෝලේ අනිත් කොල්ලෝ විඳපු දේවල්
මට විඳින්න ලැබුනේ නැහැ.ඕ ලෙවල් කරන කාලේ මට ක්ලාස් යන්න හම්බුනේ නැහැ අම්මා කිව්වේ මම ක්ලාස් යනවා කියලා ගිහින් කොල්ලෝ එක්ක රස්තියාදු ගහයි කියලා.
ඒක නිසා මම ගෙදරට වෙලා පාඩම් කරා විතරයි.මට ඕන කරන කිසි දෙයක් අම්මාගෙන් ඉල්ලලා නම් මට ගන්න බැරි වුනා.
කොම්පියුටරේ,ෆෝන්ස් හැමදේම අඩලා අඩලා තමා ඉල්ලගත්තේ.ඒ ගත්ත ඒවත් හදන්න එහෙම ඕන වුනොත් මමම අම්මා දෙන කීය කීය හරි එකතු කරපු සල්ලි වලින් තමා හදාගත්තේ.

දියවැඩියාව නිසා අම්මා අසනීප වෙලා ඉස්පිරිතාලේ හිටපු කාලේ කාපු කට්ට දන්නේ මම විතරයි.නෑදෑයෝ එකෙක්වත් මං ගැන බැලුවේ නැහැ ඉස්පිරිතාලෙට ඇවිත් අම්මාව බලලා ගියා විතරයි.
මට දවල්ටයි රෑටයි කන්න දුන්නේ අහල පහල ගෙවල් දෙකකින්.වෙලාවකට රෑට කෑවේත් නැහැ.අම්මව බලන්න එද්දී කට්ටිය ගෙනාපු ක්‍රීම් ක්‍රැකර් බිස්කට් අම්මා මගේ අතේ ගෙදර එව්වා.මම ඒවා කාලා වතුර බීලා නිදාගෙන තියෙනවා ගොඩක්
වෙලාවට.උදේ පාන්දර හතරාමාරට නැගිටලා තේ බෝතලේකුත් හදාගෙන සෑහෙන දුරක් පයිනුත් ගිහින් උදේ හය වෙද්දී අම්මව බලන්න ගියා හැමදාම.දවල්ට නොයා හවසටත් උදේ වගේම තමා.දවල් වෙලාවට ඉස්පිරිතාලෙන් ගේන අම්මගේ කිලිටි රෙදි
හෝදලා ඒවා පහුවෙනිදට ආයේ ගෙනියනවා.

ඒත් අම්මා ගෙදර ඇවිත් ටිකක් හොඳ වුනාට පස්සේ කේන්ති ගිය වෙලාවට කිව්වේ මම ඒ දවස් වල කොම්පියුටරේ ගේම් ගහ ගහ ඉන්න ඇති කියලා.ඒත් අම්මා දන්නේ නැහැ ඒ දවස් වල කොම්පියුටරෙත් කැඩිලා තිබ්බේ කියලා.
මේ මුළු කාලය පුරාම ගෙදරට වෙලා කොටු වෙලා මම හිටියේ.ඒත් මට හැමදාම ඕන වුනේ නිදහස ඒ වගේම අනිත් කොල්ලන්ට වගේ මටත් ආසාවල් තිබ්බා.මං ගොඩක් ආස කරේ බයික් එකක් ගන්න.ඒත් අම්මාගෙන් කවදාවත් බයික් එකක් ඉල්ලලා ගන්න බැරි බව දන්නේ මම
විතරයි.මොකද මේ ලී බිස්නස් එකෙන් ලැබෙන සල්ලි වලින් අම්මා ටික ටික එකතු කරලා පොතේ දානවා.ඒ මං වෙනුවෙන් වෙන්න ඇති.ඒත් මට ඕන කරන දේවල් කවදාවත් අරන් දුන්නේ නැහැ.

ඒක නිසා මම රස්සාවකට යන්න කී පාරක් ඇහුවත් හැමදාම මට බැන්නා විතරයි.මට කිව්වේ මෙතනට වෙලා මේ බිස්නස් එක දියුණු කරන් හිටපන් කියලා.
මට ඒක බැහැ අනික මම මේ බිස්නස් එකටත් කැමති නැහැ.මේ බිස්නස් එකට ගොඩක් කැප වෙන්න ඕන.අසහනය විතරයි හැම පැත්තෙන්ම.ඒත් අම්මට ඒවා පුරුදුයි අම්මා හිතන්නේ අම්මගේ පැත්තෙන්ම විතරයි.
මම අහලා අහලා අම්මට බේරෙන්නම බැරි තැන කිව්වා එහෙනම් මට රට යන්න කියලා.ඒත් ඒ බලපු එකක්වත් හරි ගියෙත් නැහැ.

මම ආයේ රස්සාවකට යන්න ඇහුවා මොකද මට අනිත් කොල්ලන්ට වගේ හිතුන හිතුන තැන යන්න අවසරයක් නැහැ.කොහේ හරි ගියොත් බිස්නස් එක බලාගන්න කව්රුත් නැහැ.එතකොට අම්මා බනිනවා බිස්නස් පාඩුයි කියලා.
මට වෙලා තියෙන්නේ මුළු ජීවිත කාලෙම මෙතනට වෙලා බිස්නස් කර කර ඉන්න මිසක් වෙන ජීවිතයක් නැහැ.පහුගිය ලිපියක් නිසා ගොඩක් යාළුවො කිව්වේ කොහොම හරි අම්මට කියලා ජොබ් එහෙකට පලයන් කියලා.

මටත් දැන් මේක ඇති වෙලා මමත් ටිකක් බර කරලා කිව්වා මට නම් ජොබ් එහෙකට යන්න ඕනෙමයි කියලා.ඔන්න ඒ පාර නම් අම්මා කිව්වා උඹට යන්නම ඕනේ නම් පලයන් හැබැයි මීට පස්සේ ගෙදරින් කිසි දෙයක් බලාපොරොත්තු වෙන්න එපා කියලා.මට සල්ලි වලට වඩා නිදහස වැදගත්
මම කිව්වා හා කියලා.ඊට පස්සේ අම්මා මං ගැන හෙව්වේ නැහැ මම හොයලා හොයලා අන්තිමට මට ජොබ් එකක් හම්බුනා.හෙට ඉඳං මම ඒකට යනවා.ගෙදර ඉඳං පැය කාලෙන් පයින් යන්න පුළුවන්,උදේ හතට පටන් අරන් හවස පහමාර වෙද්දී ඉවරයි.බර වැඩත් නෙවේ කරන්න තියෙන්නේ.මුලින් දහදාහයි පඩිය
පස්සේ පස්සේ වැඩි කරනවලු.

මේක අම්මට කිව්වම අම්මා මාව ගොඩක් මානසිකව වැට්ටුවා.අම්මා කියන්නේ මම මේ බිස්නස් එකට උදව් කරන් හිටියා නම් හොඳයි නැත්තම් උඹ අම්මගේ හිත කැඩුවා කියලා.මට මේ ප්‍රශ්න කියන්නත් කව්රුත් නැහැ වැඩිය කොහෙවත් යන්න නැති නිසා මට යාලුවොත් නැහැ.ගෙවල් අහල පහල ඉන්න එවුනුත් දැන් ජොබ් වලට යනවා උන් එන්නෙත් රෑ වෙලා.
අම්මා වෙලාවකට අඬනවා,තවත් වෙලාවකට මට ශාප කරනවා උඹට නම් කවදාවත් හරියන්නේ නැහැ අම්මා කියන දේ නාහන නිසා කියලා.අනේ මන්දා දැන් මම තීරණය කරලා ඉවරයි හෙට ජොබ් එකට යනවා කියලා.ඒත් ඔයාල හිතන්නේ මොකක්ද? මම අම්මට අකීකරු වුනා කියලද?මීට වඩා අම්මා කියන දේ අහලා හිටියා නම් හොඳද? නැත්තම් මං ගත්ත තීරණය හරිද?

මොනා වුනත් මම ගත්ත තීරණය අනුව මට මින් ඉදිරියට කන්න වෙන්නෙත් හම්බෙන දහදහෙන්ම තමා ඒත් මගේ හිතට ටිකක් හරි තෘප්තියක් ලැබෙනවා.ඒත් මට හිතාගන්න බැහැ මම හරිද වැරදිද නැත්තම් වැරැද්ද කොතනද කියලා.

119 comments:

  1. හෙට ඉදං ඇරබෙන ජීවිතේට සිරාවටම සුභ පැතුම් මචං..
    අනිත් එවුවා ගැන මට කියන්න දෙයක් නෑ..

    ReplyDelete
  2. ඔයා ජොබ් එක කරලා දියුණු වෙන්න. ඒ වගේම ජොබ් එක කරන ගමන් තවත් ඉගෙන ගන්න. ඔයාගේ අම්මා ඔයාගේ මූණට බැන්නට හිතෙන් ආශිර්වාද කරනවා. අලුත් ජොබ් එකට මගෙන් සුභ පැතුම්. ජය වේවා! :)

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් හසාරා
      මම අද ජොබ් එකට ගියා :)

      Delete
  3. සුභ පතනවා බං. තමන්ගේ දහිරියෙන් නැගිටින්න දගලන එකට සතුටුයි.

    අම්මගෙ පැත්තෙන් හිතලා කතා කරන්න මටත් තේරෙන්නෙ නැහැ.

    උබට ජය !

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සෑමා
      උඹේ කොමන්ට් එක මට හයියක්

      Delete
  4. සංකීර්ණ ප්‍රශ්නයක් නිශාන්. මට ඇත්තටම ඔයා ගැන කණගාටුයි. (එහෙම කිව්වෙ ලොකුකමකට නෙවෙයි යාළුවා, අපිත් මහ සල්ලිකාරයො නෙවෙයි, අපේ තාත්තත් රජයෙ ලිපිකරුවෙක්. ඒ වුනාට මම ඔයා තරම් දුක් විඳල නෑ. ඒකයි මට උඹ ගැන දුක හිතුනෙ) අම්මට උඹව තේරුම් ගන්න අමාරු ඇති. සමහරවිට අම්මට බය ඇති උඹ සමාජෙට යනවට, පොඩි කාලෙ ඉඳල හැමතිස්සෙම ඇස්මානෙන් පිට නොගිහිපු නිසා. ඒ වුනාට අම්මල කවදාවත් දරුවොන්ට උඹ හිතන විදියට ශාප කරන්නෙ නෑ, ඒ හිතේ දුකට කියන දේවල් වෙන්න ඇති. අම්මත් එක්ක සාකච්ඡාකරල ඕක සතුටෙන් විසඳගන්න පුළුවන් නම් හොඳයි බං. උඹ අම්ම කරන විදියට කැමති නැත්නම් ඔය බිස්නස් එක ටිකක් වෙන විදියකට දියුණුකරගන්න බලපන් එක්කො. එතකොට උඹට වැඩි අවුලක් නැතුව රැකියා ප්‍රශ්නෙත් විසඳගෙන අම්මගෙ හිත හදන්නත් පුළුවන් වෙයි. ජොබ් එක ගැන නම් මේ කාලෙ හැටියට ඔය පඩියනම් මදි තමයි. ඒත් බං කොලිෆිකේෂන්ස් එක්ස්පීරියන්ස් නැතුව එකපාරටම ලොකු ජොබ් හොයා ගන්න බෑ. දැන් ඔයා යන්න හිතාගත්තු ජොබ් එකට යන්න, ටික දවසක් ගිහිල්ලම බලන්න. සමහර විට ඒක හොඳ නැති වුනත් එහෙම වැඩ කරනකොට ඇති වෙන පුද්ගල සම්බන්ධතා උඩ වෙන හොඳ ජොබ් එකක් වුනත් පස්සෙ සෙට්කරගන්න පුළුවන් වෙයි. උඹ ගොඩක් දුර යනව නෙවෙයි නේ. සමහර විට ටික දවසක් යනකොට අම්මගෙ හිත හැදේවි. කාලයට ඉඩදීල බලමු. හැමදේම යහපත් විදියට විසඳෙන්න කියල මම හදවතින්ම ප්‍රාර්ථනා කරනව නිශාන්. (ඔයාගෙ ඇහේ අසනීපෙ තියෙද්දිද ඔය වැඩට යන්න හදන්නෙ, හරියට සනීප වුනෙත් නෑ නේද තාම)

    ReplyDelete
    Replies
    1. ඇහ නම් අවුලක් නැහැ වැඩිය බර වැඩත් නැහැ කරන්න.අම්මා කවදාහරි වෙනස් වෙයිද කියන එක නම් ලොකු ප්‍රශ්නයක්.බලමුකෝ ඉස්සරහට දැනට මම ජොබ් එකට යනවා.අදත් ගිහින් ආවේ.

      Delete
  5. ජොබ් එකට යෑම ගැන සුභපැතුම්.. ඒක හොඳින් කරපන්.. අනික්වා ගැන නම් කරුණු කාරණා හරිහැටි නොදැන යමක් කියන්න අමාරුයි බන්.. උඹ මේක ලියලා තියෙන්නෙ උඹේ පැත්තෙන්නෙ.. සමහරවිට උඹ නොදකින දෙයක් අම්මා දකිනවා ඇති.. කොහොමටත් උඹේ ජීවිතය ගැන උඹම තීරණ ගන්න එක හොඳයි.. ඒත් අම්මගේ ආශිර්වාදයත් ලැබෙනවා නම් තමා වටින්නෙ.. පුළුවන් තරම් ම්මාවත් හොඳින් තියාගෙන වැඩ කරන්න බලපන්..

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් ඔව් බන් උඹ හරි

      Delete
  6. ජීවිතේ තීරණ ගන්න ඕන තමන්මයි මලයා

    මම හදවතින්ම සුබ පතනවා උබේ ඉදිරි ගමනට ......!!!!

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් මං එහෙනම් මගේ ජීවිතය ගැන තීරණයක් අරන් තියෙනවා.
      බොහොම ස්තුතියි අයියා කොමන්ට් එකට.

      Delete
  7. මල්ලි උඹ නඳුන් නේද?

    ReplyDelete
    Replies
    1. නැහැ නදුනුත් මං වගේම පියා අහිමි දරුවෙක් ඒත් මට වඩා වාසනාවන්තයි.

      Delete
  8. ජය වේවා,,, ජිවිතේ අමාරුකම් තිබිල, ඒවා ජය ගත්තොත් අමුතුම සතුටක් තියනව.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් ඒක ඇත්ත තමා සහෝ

      Delete
  9. සුභ පැතුම්...
    ජය වේවා! :)

    ReplyDelete
  10. මට මතක විදිහට මම උඹව ඉස්සෙල්ලම දැක්කේ උඹට වයස තූනක් විතර කාලේ.අම්මගේ ගවුමේ කොනකින් අල්ලගන අම්මට මුවා වෙවී පාරේ ගිය කොල්ලා මට දැනුත් මැවීලා පේනවා.

    මම ඔයාගේ අම්මාව දකින්නේ එඩීතර අවංක ගෑණියෙක් විදිහට.හිතලා බලපන් අම්මා කොච්චර හොදයිද කියලා, අනිත් අම්මලා එක්ක කතාකරන්න බැරි දෙයක් උනත් මම දන්න උඹගේ අම්මත් එක්ක කතාකරන්න පුළුවන් කියලා උඹ ‍මට වඩා හොදට දන්නවනේ,

    හිතලා බලපන් මල්ලි (පුතාද මන්දා) අම්මට අහල ගම් හතක කරන්ඩ බැරි දෙයක් තියනවද, නොදන්න කෙනෙක් ඉන්නවද , ඇයි අම්මට එහෙම වටිනාකමක් ලැබීලා තියෙන්නේ, ඒ ඔයාගේ අම්මා උතූම් අම්මා කෙනෙක් හින්දා,

    අම්මා එක්ක ගැටුම් ඇතිකරගන්න එපා, ඔතෙන්දී අම්මා හරි මල්ලී , අම්මට ඉන්නේ උඹ විතරයි ,අම්මාට බයයි උඹව එයාට නැතිවෙයි කියලා, ටික ටික ‍දැනේන්ඩ දීපන් උඹගේ ජීවිතයේ ඔක්කොම අම්මා කියලා, අම්මට ගොඩක් ආදරෙයි කියලා.

    අම්මගේ ලී බිස්නස් එකත් නරක එකක් නෙමෙයි, නරකද වැඩීදියුනු කොරලා ගත්තොත්

    මමත් ‍මගේ අම්මා ගැන වැරදියට හිතාගන හිටියා කාලයක් , දැන් මම එහෙම හිතන්නැ ,

    ඔව්වා හදවතේ ගැඹුරටම දැනෙන්ඩ තමන්ගේ ලේ වලින් හැදුන කිරිකැටියෙකූව පපුවට තූරුල්කරගන්ඩ වඩාගන්ඩ අල්ලන්නේ කොහොමද , කොහෙන්ද කියලා හිතා ගන්ඩ බැරුව අතරමංවෙන්ඩම ඕන.

    ඔයාගේ ජීවිත කතාව දන්න එකම බ්ලොග්කාරයා හින්දා මේක නොලියා බැරි උනා

    ReplyDelete
    Replies
    1. ‍මේ දරුවට දෙන්න පුලුවන් හොඳම උපදේශය වෙන්න ඇති මේ...

      Delete
    2. හ්ම්ම් ඔව් මංජු අයියා ඔයාගේ කතාව හරි ඒත් මටත් නිදහසක් ඕන නිසා මම මේ තීරණේ ගත්තේ අනේ මන්දා.මට මේ ඔක්කොම එපා වෙලා තියෙන්නේ.

      @නිමල්
      හ්ම්ම් වෙන්න ඇති මහත්මයා.

      Delete
  11. වැඩි දෙයක් කියන්න දන්නෙ නැහැ අයියෙ... ඔයා කරන හැම දෙයක්ම සාර්ථක වෙන්න කියලා මුළු හදවතින්ම සුබ පතනවා!!

    ReplyDelete
  12. මම මේ දේ ගැන නොදැන කියවන්න යන එක බොරුවක් කියලයි හිතෙන්නේ ඒත්
    මගේ අදහසේ හැටියටනම් තමන්ගේ දියුණුවට තමන්ම පාර කපාගන්න එක හොඳයි ! මමත් තාත්තා නැතිව හැදුණු කොල්ලෙක් අම්මා මට කොයිතරම් ආදරේද කියන දේ මට දැනෙනවා අයියගේ අම්මත් අනිවාර්යයෙන්ම එහෙමයි . හෙටින් ඇරඹෙන අලුත් ජීවිතේට සුභ පැතුම් කොල්ලෝ !!
    ජය!!!

    ReplyDelete
    Replies
    1. හොඳ කොමන්ට් එකක් මලයෝ
      මේක මට හයියක් තෑන්ක්ස්.

      Delete
  13. ජොබ් එකට යන්න ලැබීම ගැන සතුටුයි මචං. සුබ පතනවා උඹට. සමහර විට අම්මට තාම උඹ පොඩි එකා වගේ වෙන්න ඇති දැනෙන්නෙ. ඒක නිසා වෙන්න ඇති ලඟම තියා ගන්න හදන්නේ. අම්ම පාවිච්චි කරන වචන මොනවා උනත් උඹට ගොඩක් ආදරේ ඇති. ජොබ් එකට ගිහින් බලහන්. සමහර විට ඒ අතර අම්මට තේරෙයි උඹ හරි කියලා.
    …අනික උඹ පදම් වෙලා තියන හැටියට මොන ජොබ් එක කලත් ගොඩ යන්න අමාරු වෙන එකක් නෑ බං

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් ඔව් බන් උඹේ කතාව හරි
      මම අද වැඩට ගියා.

      Delete
  14. හ්ම්ම්...හිතට හයිය ගනින් මචං!උඹට ජිවිතේ දිනන්න පුළුවන්!

    ReplyDelete
  15. Job ekata suba pathum

    ReplyDelete
  16. උඹේ ජීවිතේ උඹේ මචං! උඹ කියන දේ නාහන බව දැන ගත්තම ටිකක් කෑ ගැහුවට ඉන්නෙත් උඹ විතරක් නිසා පස්සෙ පස්සෙ හිත බුරුල් වෙයි

    ReplyDelete
    Replies
    1. එහෙම වෙයි කියලා හිතාගෙන බලන් ඉන්නේ බන්.
      කොමන්ට් එකට ගොඩක් ස්තුතියි.

      Delete
  17. මම එදත් කියපු මගෙ යාළුවගෙයි, උබේ කතාවෙයි මාර සමානකමක් තියෙන්නෙ.. ඌවත් අම්මා ඔය වගේම කන්ට්‍රෝල් කළා.. අන්තිමට ඌ බැමි කඩාගන ගියා.. කවදා හරි උඹ බඳින දවසටත් ඔය ප්‍රශ්ණ වලට මුහුන දෙන්න වෙනවා.. උඹ දැන්ම ඉඳන්ම ඕවාට මුහුණ දෙන්න ලෑස්ති වෙන්න ඕනා.. අම්මා දුකසේ උඹව ලොකු මහත් කරපු නිසා මොනම හේතුවකටවත් උඹට අම්මට පිටු පාන්ඩ බෑ.. උඹලා දෙන්නම ගැන දන්න අටං යමක් කියලා තියනවනේ.. ඒ ගැනත් සළකා බලපන්..

    ඔය බිස්නස් එක නරක එකක් වෙන්ඩ බෑ නේද ? ඒක වැඩි දියුණු කර ගත්තොත් මොකද ? උඹට බෑම කියලා හිතෙනවනම් රස්සාවකට ගියාට කමක් නෑ.. ඒත් රස්සාවලට ගිහින් අනුන්ට කබුරනවට වැඩිය තමන්ගෙ දෙයක්ම වැඩි දියුණු කරගෙන ඉන්ඩ තියනවනම්.. ඒක නිදහස්.. නිවහල්...

    මොනවා උනත් හෙට යන ගමනට සුබපැතුම් !!

    ඒකක් මතක තියා ගනින්, මේ ලෝකේ කිසි දෙයක් ලේසි නෑ.. කිසිවක් නොදී කිසිවක් ගන්ඩත් බෑ.. කිසිදා නොලබපු අලුත් දෙයක් ලබන්ඩ නම් කිසිදා නොකරපු අලුත් දෙයක් කරන්ඩ ඕනා..

    ජයම පතමි !!!

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් මට මේක දියුණු කරගෙන ඉන්න පුළුවන් බන්.ඒත් ඒකට මගේ තරුණ කාලෙම කැප කරන්න වෙනවා.මට ගමනක් බිමනක් යන්නත් නැහැ.කිසිම නිදහසක් නැහැ.අතේ සල්ලිත් නැහැ පොඩ්ඩක් හිතලා බලපන්.

      හ්ම්ම් සමහර විට උඹලා හරි ඇති ඒත් මටත් ජීවිතයක් ඕනනේ බන්.

      Delete
    2. කිව්වට තරහා වෙන්ඩ එපා මලේ මාරයා කිව්වා වගේ උඹ හරි කම්මැලියි.. ජීවිතේ විඳින්ඩ කලින් ඒක ගොඩනගාගන හිටපන්..උඹ රන් හැන්දෙන් කිරි බීපු එකෙක් නෙමේනෙ.. එහෙම උන්ට පුලුවන් උඹ ඔය කියන නිදහස් ජීවිතේ ගත කරන්ඩ.. ඒත් උඹට එහෙම බෑ.. ඊට කලින් උඹ ස්තාවරයක් ගොඩ නගාගන ඉන්ඩ ඕනා.. උඹ ඔය විදිහට රස්සාවක් හෙව්වත් උඹට හොයා ගන්ඩ පුලුවන් බොහොම අඩු පඩියක් සහිත සුලු රැකියාවක් තමයි.. ඒ ගියත් උඹ ඔහොම හිතන තාක් කල් උඹට රස්සාවෙවත් උඩට ඒමක් නෑ..

      ජීවිතේ නිදහස කියන්නෙ හිතෙන හිතෙන වෙලාවට අයාලෙ යන එක නෙමේ..

      Delete
    3. නිදහස කියන එක අපිට කවදාවත් අපට ඕනැවිදියට භුක්ති විඳින්න ලැබෙන එකක් නං නොවෙයි කොහෙ හිටියත්.

      අනෙක අම්මලා කවදත් බුරුලක් දෙන්නෙ නැහැ තමන්ට හිතට හරි කියල දැනෙන තුරු.

      කොයි ගෙදරත් අම්මල පුත්තු වලි තමා. හොඳට වලි දාන අම්මෙක් තමා කියන්නෙ. ඒ කෙං කියැවෙන්නෙ නැහැ අම්ම පුතාට ආදරේ අඩුයි කියා.

      කොයි රස්සාවත් කරල බලමු. ආපහු අම්ම ගාවට එන බව තමා මට හිතෙන්නෙ.

      Delete
    4. පරක්කු වැඩිද මන්දා මේ කමෙන්ට් එක මම දාන්ඩ ,

      මෙන්න අම්මා කෙනෙක් කියන කතාවක් , බලහං මල්ලි, (නැ වැරදුනා පුතා)

      Delete
  18. මචං මේක මෙහෙම කියවලා විතරක් තීරණය කරන්න බෑ.....
    උඹට උපදෙසක් දෙන්නත් බෑ..
    පැති කීපයක්ම තියෙනවා බං.
    හැබැයි මම උඹ උනා නම් කරන්නෙ බිස්නස් එක දියුණු කරගෙන ඉන්න එක... රස්සාවක් කළාට වඩා නිදහසක් එතන තියෙන බව උඹට තේරෙයි. උඹ තාම ජොබ් එකක් කරලා නැති හින්දා උඹ හිතන විදිහ වෙනස්.
    නමුත් අම්මට අත්දැකීම් ගොඩාක් තියෙන හින්දා අම්ම හොඳ නරක දකිනවා බං

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් ඇත්ත වෙන්න ඇති බන් උඹේ කතාවත්.
      මොනා වුනත් මට උඹේ වචන ටිකත් හයියක්.

      Delete
  19. සුභ පැතුම් කරන්න යන පලවෙනි ජොබ් එකට..

    ඒත් මටත් කියන්න තියෙන්නේ තියෙන බිස්නස් එක දියුණු කරගන්න ට්‍රයි එකක් දුන්නනම් හරි. ඒත් මචං උඹ ඒ දේට කැමති නැත්නම් ගන්න පුළුවන් අනිත් තීරණේ ගනින්. එහෙම කරලා එ දෙයින් ගොඩ එන්න උපරිම ට්‍රයි කරහනන්. තමන් ගැන විශ්වාසෙයි, අධිෂ්ඨානයයයි තියෙනවනම් ඕන වලකින් ගොඩ යන්න පුළුවන්. මොනවා කරත් ජය පතනවා මං උඹට!!

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් ස්තුතියි මචන් සුභ පැතුමට.
      බලමු උපරිම ට්‍රයි එකක් දීලා.

      Delete
  20. මචන්, මම කවුද කියල උඹ දන්නෙ නෑ, මෙගෙ බ්ලොගයක් තිබ්බට මෙලො හරකෙක් ඒකට එන්නෙ නෑ, ඒ හින්ද මම මෙ ලොකු කමකට කියනවා කියල හිතන්න එපා,

    මට ඇත්තටම උඹ කියල තියන ගාන වගේ 20 ගුනයක් විතර පඩියක් තියෙන්නෙ, ඒත් මචන්, මට දැන් හිතෙන්නෙ ඒක නෙවෙ ජීවිතෙ කියල බන්, තමන්ගෙම කියල බිස්නස් එකක් කරගෙන, කෝටිපතිතියො වෙන්න දඟලන්නෙ නැත්නම් ඔය ඕන බිස්නස් එකක් උඹට උඹේ ජීවිතෙ නිදහස දෙයි. අපි හිර වෙලා ඉන්න තරම අනිත් උන දන්නෙ නෑ බන්, අපෙ ජීවිත ගෙවෙන්නෙ අපිම මහන්සි වෙලා හම්බකරන දෙයි වැඩිපුර ලාබ ගන්න කොම්පැනි කාරයොන්ට ඕනෙ විදියට බන්. සමහරවිට උඹට හෝ කාටවත් මේක තෙරෙන්නෙ නැතිවෙයි.

    උඹලගෙ අම්ම ගැන නම් කියන්න තියෙන්නෙ, උඹ අම්මව හරියට අඳුරගෙන නෑ වගෙයි, හොඳට ඇස් ඇරල බලපන් මචන්, එතනෙ අම්මයි තාත්තයි දෙන්නම ඉන්නවා, පිටට පෙන්නන්නෙ නැතිව හිතෙන් ආදරෙ කරන්නෙ තාත්තල.

    අන්තිමට කියන්න තියෙන්න, උඹ කියන ඔය ජීවිතෙ නිදහස උඹ ඔය කියන එලියෙ ලෝකෙ නෑ.

    අදමයි උබෙ බ්ලොගේට ආවෙ. ක්තාව පට්ට හිතට වැදුනා බන්, ඒකයි මෙහෙම හරි කොමෙන්ට් එකක් දැම්මෙ

    ReplyDelete
    Replies
    1. //එතනෙ අම්මයි තාත්තයි දෙන්නම ඉන්නවා//
      හිත පතුලටම වැදුන වචනයක් ...එහෙම අම්මල මේ ලෝකෙ හුඟක් නෑ...

      Delete
    2. @ඇනෝ
      බොහොම ස්තුතියි සහෝ කොමන්ට් එකට.ඇත්තටම ඔයාගේ කතාව හරි මට නිදහස ඕන නිසයි මම මෙහෙම තීරණයක් ගත්තේ.අම්මා සමහර විට කවදාහරි මට ආශිර්වාද කරයිනේ.දැනට මං මෙහෙම ජොබ් එකට ගිහින් පස්සේ වෙන අතක් බලනවා.

      Delete
  21. අනේ මන්ද මට කියන්න තියෙන්නේ අපි බහුතරයක් උන්ට තියෙන්නේ අපි විහින් හදා ගත්ත ප්‍රශ්න.එතැනදී උඹ අපෙන් වෙනස් වෙනවා.අපි විඳින්න තියන ජීවිතේ විඳවන කොට උඹ විඳවන ජීවිතෙන් සතුටු වෙනවා බොරු නෙවෙයි නේද ?.මම නම් හිතන්නේ උඹ ඔය ජොබ් එකට යන එක හරි කියල.මොකද කවද හරි බිස්නස් එක ගොඩ නගන්න උඹට පුද්ගල සම්බන්දතා කියන එක ඕන වේවි ගොඩක්.අනික සමාජෙන් දෙයක් ඉගෙන ගන්න පුළුවන් නේ.ඔන්න පුතේ අවස්තාව ගෙදරින් වැඩි දුරකුත් නොවන හින්දා හැම දේම අත මානේ තියාගෙන ලෝකේ ගැන හොයන්න අවස්තාව.තව චුට්ටක් දුක් වින්දට ප්‍රශ්නයක් නෑ.මොකද උඹට උඹේම බොස් වෙන්න ඒ දුකත් එක්ක එන අත්දැකීම වැදගත් වේවි කවද හරි.කවදාකම හරි.

    (මම මේ ටික කිව්වේ අම්මගේ පැත්තෙන් ටිකක්වත් නොහිතා.මොකද උඹ කවදාකම හරි උඹට ඕන විදියට ජීවිතේ විඳින්න අම්ම නිසා බැරි උනා කියන පසු තැවිල්ල ඇති නොවෙන්න පුංචි උපදේශයක් දෙන්න ඕන උනා)

    ReplyDelete
    Replies
    1. මගේ පැත්තෙන් හිතලා කොමන්ට් කරාට ස්තුතියි සහෝ.මේක මට ලොකු හයියක්.

      Delete
  22. හිත ඇත්නම් පත කුඩාද කියලා සිංහල කියමනක් තියනවා. කොල්ලෙකුට උත්සාහ කලොත් දිනන්න බැරි කිසිම දෙයක් නෑ. කිසිම දෙයක්නෑ මලේ. උත්සාහයෙන් ඉස්සරහට පලයන්.ප්‍රශ්න බාධක එමට තියේවි.සැලෙන්නේ නැතුව ඉදිරියට යන්නයි ඕන. ජය

    ReplyDelete
    Replies
    1. අනිවා මම කොහොම හරි ගොඩ යනවා සහෝ.
      බොහොම ස්තුතියි මේ කොමන්ට් එකට.

      Delete
  23. හ්ම්ම්ම්.. ජීවිතේ වෙනස් වෙන්න ඕන තැන් එනවනේ නිශාන්... සුභ පැතුම්.. පටන් ගන්න යන අළුත් ජීවිතේට..

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් ඔව් සහෝ බොහොම ස්තුතියි කොමන්ට් එකට.

      Delete
  24. රස්සාවට යන්න ගිහින් බලන්න...සමහරවිට ටික දවසකින් තේරෙයි තමන්ගේම ව්‍යාපාරයක් දියුණුකරගන්න එක වඩාත් හොඳයි කියල..
    ඒ අතරතුර වෙනදටත් වඩා අම්මාට ලංවෙන්න..ආදරෙන් ඉන්න...
    කතාව ඇහුවාම හිතට දුකක් දැනුනා..ඔබට තෙරුවන් සරණයි!

    ReplyDelete
    Replies
    1. ඔබ කියන දේටත් මම අවධානය දෙනවා.
      ගොඩක් ස්තුතියි මේ කතාව හොඳින් තේරුම් ගත්තට.

      Delete
  25. මගේ හෘදයාගංම සුබ පැතුම් ඔබට , ජීවිතේ ජය ගන්න , සිත සතුට රදවන්න ...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි කොමන්ට් එකට මහේස් මහත්මයා
      වැදගත් කොමන්ට් එකක්.

      Delete
  26. අටම් පහුරගේ කමෙන්ට් එක හින්දයි වචනයක් හරි ලියලා යන්න හිතුනේ.

    ඇත්තටම මල්ලි උඹ තාම අම්මව තියා උඹවවත් අඳුරගෙන නැහැ. මේක මෙහෙමම ලිව්වා කියලා මා එක්ක අමනාපයක් හිතට ගන්න එපා. ඒත් ඇත්තම කතාව ඒකයි. අම්මව අඳුරගන්න කලින් තමන්ව අඳුරගන්න බලපං.. මට හිතෙන හැටියට උඹට දැන් වයස 20කට ආසන්න ඇති. තාත්තත් නැතිව අම්මා උඹව හදාගෙන තියෙද්දී අම්මයි උඹයි දෙන්නම සෑහෙන්න දුක් විඳලා තියෙන බව හැබෑව..ඒත් අම්මා උමට පුළුවන් හැම දේම වගේ කරලා තියෙන බවත් පේන්න තියෙනවා මේ ලිපිය කියෙව්වම. උඹ කම්මැලි වැඩියි කියලා මට හිතෙන්නේ. ඔය කම්මැලි වෙන්න හොඳ වයසක් නෙවෙයි. කාගෙන වැඩ කරලා ඉස්සරහට යන්න ඕන වයස.. අපේ අම්මලා තාත්තලා අපිට ඉස්සරහට ඇඳගෙන යන්න පුංචිම පුංචි හරි බිස්නස් කෑල්ලක් තියලා තිබුනනං කියලා හිතෙද්දී ඇත්තටම උඹට කනට ගහන්න තරං හිතෙනවා. උඹ මේ බ්ලොග් එකේ "නිකමා" කියලා ලියන්නේ සමහර විට උඹටම උඹ ගැන ඒ වගේ හිතෙනවා ඇති. නිකමෙක් වෙන්න හරි ලේසියි.. අමාරු ඒකෙන් මිදෙන එකයි... උඹට අම්මා කම්පියුටරයක් අරං දීලා ඒ මදිවට නෙට් කනෙක්ෂන් එහෙකුත් අරං දීලත් උඹ ඒකෙන් ඉගෙන ගන්න දෙයක් ඇති වලක් පේන්නෙත් නැහැ... හරියට ඉගෙන ගන්නවනං ‍අන්තර්ජාලය හොඳ පාසලක්.. එහෙම නැතිව ගේම් වල එල්ලිලා විකාර නට නට ඉන්නවනං මේක හූනියමක්. පිස්සු නැතිව අම්මගේ බිස්නස් එකට උදව් කරන ගමන් මේක හරහා තව ටිකක් ඉගෙන ගන්න බලහං..උඹට අම්මා කරන බිස්නස් එක හිතට මදිනං ඒකට උදව් කරන අතරෙම අම්මත් එක්ක කතා කරලා ඒක තියෙද්දිම තව මොනවා හරි බිස්නස් එහෙකට අත ගහපං ඔය කරන ලී බිස්නස් එකට කිසිම අවහිරයක් පාඩුවක් නොවෙන්න... අම්ම උඹට උදව් කරයි. එහෙම නැතිව නිකං හිතට හිතුනට කඩාගෙන ගිහින් අනුන්නට කඹුරන්න හදන්නේ නැතිව..

    දැන් කියහං ඕනනං අනේ මෙන්න මාරයත් මාව මානසිකව වැට්ටුවා කියලා.. ඒත් උඹට "අනේ ෂෝයි අම්මා ආශීර්වාද කරයි ඔයා රස්සාව කරන්න" වගේ කියලා කමෙන්ට් දාන්න බැහැ උඹේ වචන හරහා තියෙන තත්වය පැහැදිලිව පේන්න තියෙද්දී... කම්මැලිකං අත ඇරගනින්... අරයගේ මෙයාගේ අත පල්ලේ වැටිලා කවදා පඩි වැඩි කරයිද නොදැන නහින්න නොයා.

    //"මම මේ බිස්නස් එකටත් කැමති නැහැ.මේ බිස්නස් එකට ගොඩක් කැප වෙන්න ඕන.අසහනය විතරයි හැම පැත්තෙන්ම"//

    ඉතිං බං උඹ ඔය කරන්න යන තැන රස්සාවත් ඔහොමම උනොත් උඹ මොකද කරන්නේ..දවස් දෙකෙන් ඒක දමලා ගහලා ඇවිත් ගෙදර නවතිනවද..? ඔය කොයි රස්සාවවත් නැහැ කැප නොවී කරන්න පුළුවන්.. ඒ වගේම අසහනයක් හිතට‍ නොගෙනෙන.. උඹට ඇයි බැරි අම්මගේ බිස්නස් එකට රස්සාවක් හැටියට සලකන්න... උම අයිතිකාරයගේ පුතා කියන මානසිකත්වයේ නොයිද පොඩි පඩියකට රස්සාවකට ආවා කියලා හිතං හෙට ඉඳන් ඒකේ වැඩ කරහං.. උඹ උදේ 7ට ගිහින් හවස 5.30ට ගෙදර එනකල් වෙන තැනක ගිහින් රස්සාව කරන්න පුළුවන්නං හෙට ඉඳන් ඒ වෙලාවේ ගේ ඇතුලේ රිංගන්නේ නැතිව එළීයට වෙලා අම්මගේ වැඩ ටික කරගෙන පලයං... උඹ ඒ කාලය මාසයක් මහන්සි උනොත් උඹට ඔය රස්සාවෙන් හම්බ වෙනවට වැඩිය ගානක් හෙව්වැකි. ඒත් කම්මැලි කමට ගේ අස්සේ රිංගං කොම්පීටර් එක්ක පැටලෙන්න ගියොත් නිකංම නිකං නිකමෙක්ම වෙන්න පුළුවන් වෙයි.උඹයි තීරණය කරන්න ඕන අපි නෙවෙයි...

    ReplyDelete
    Replies
    1. නිශාන්,
      අටම්පහුරගෙත්, මාරයාගෙත් අදහස් දැක්වීම්වලට විශේෂ අවධානයක් යොමුකරයි කියලා හිතනවා.
      ඔබට ජය!

      Delete
    2. ඇත්තටම මාරයා අයියා නියම කොමන්ට් එකක්.ඔයාගේ අදහස් වලට මම ගරු කරනවා.ඒත් මම කම්මැලියෙක් නෙවේ.මට ඕන නිදහස.

      හිතන්න දවස තිස්සෙම ගෙදර,ගෙදරින් කොහෙවත් යන්න නැහැ ගියොත් ගෙදර කව්රුත් නැහැ.අවුරුදු 20ක කොල්ලෙක්ට නිදහස නැති එක ගැනත් හිතන්න අයියා.

      ආහ් තව එකක් මේ කොම්පියුටරෙත් නෙට් කනෙක්ෂන් එකත් අම්මා අරන් දීපුවා නෙවේ.මම මට දෙන සල්ලි ගොඩක් කාලයක් තිස්සේ එකතු කරලා එකතු කරලා ගත්ත දේවල්.

      ස්තුතියි කලාතුරකින් වුවත් කොමන්ට් කරාට අයියා.

      @RaS
      හ්ම්ම් අනිවා ලොකු අවධානයක් දෙනවා.

      Delete
  27. උඹ ගත්ත තීරනේ ගැන මට කියන්න බැහැ. ඒත් අම්මවත් සතුටින් තියලා උඹටත් සතුටින් ඉන්න පුළුවන් වෙන්න ඉක්මනට දියුණු වෙන්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මචං. සුභ පැතුම්...!!!!

    ReplyDelete
    Replies
    1. සුභ පැතුමට තෑන්ක්ස් මචෝ

      Delete
  28. අම්මා කියන කථාවේ වැරැද්දක් නැහැ , ඉස්සෙල්ලම අම්මව හොදට තේරුම් ගන්න බලපන් , මට තේරුන විදියට උබලගේ අම්මා ගොඩක් දුර දිග හිතලා බලලා තීරණ ගන්න කෙනෙක් .. උබ හොයන්නේ උබේ නිදහස වෙන්න පුළුවන් එත් කැප වෙලා අර බිස්නස් ඒක දියුණු කරන එකෙන් එයිට වඩා වාසියක් වෙන්නත් පුළුවන්.. කැප වෙන්න බැහැ කියන වචනේ නම් කියන්න එපා මචං , උබේ වයසට මෙහෙම හිතුනට තව කාලයක් යනකොට සමහර විට උබ පසුතැවිලි වෙන්න ත් ඉඩ තියෙනවා.. උබට තව වයස තියෙනවා.. ජිවිතේ ඒක අරමුණක් තියාගනින් දෙපැත්තට වැනෙන තීරණ ගන්න එපා.. රට යනවනම් දැන්ම ඉදලා එකට සුදානම් වෙයන් ඒ කියන්නේ හොටෙල් කොස් එකක්වත් කරලා සුදුසුකම් වැඩි කරගන්න ඕනේ..දැන්ම ඉදල තමන් යන්න ඕනේ අංශය තෝරාගෙන ඒ පැත්තෙන්ම ඉගෙන ගනින් , හැම දෙයක්ම කරන්න යන්න එපා... (රට ගියාම අම්මව බලාගන්න කෙනෙක් ඉන්නවද?)

    අනිත් ඒක අලුත් ජොබ් එකක් කරන එකට සුබ පතනවා , පලවෙනි රැකියාවනේ අත්දැකීම් ගන්නත් එක්ක හොදයි.. එත් කාලය නාස්ති නොකර හොදට හිතලා හරි තීරණයක්‌ ගන්න..

    ජය__

    ReplyDelete
    Replies
    1. උඹේ කතාව හරි චමියෝ
      රට යන්නත් මම කැමති නැහැ මාව රට යවන්නත් ඕන වුනේ අම්මට.
      වෙන දේකට මුහුණ දෙනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නැහැ මචන්

      Delete
  29. මල්ලි උඹ ගැන නම් මම මෙලෝ හසරක් දන්නෙ නෑ.. අටම්, කියල තියෙන දේවල් දැක්කම, සහ, මම හිතන්නෙත් තියෙන බිස්නස් එක වැඩි දියුනු කරන එක තමා හොඳම. රස්සාවට යන්න කලින් පෙන්නන සුර ලෝකෙ, ඒකට හියහම නෑ බන්. සිරාවටම කියන්නෙ.

    අපි මේ කොමෙන්ට් කොරල මොනව කිවුවත් , උඹ හොඳට හිතල තීරණයක් ගනිං
    ජය!

    ReplyDelete
    Replies
    1. දැනුම් තේරුම් ඇති කට්ටිය කියද්දී අහක දාලා කොහොමද?
      අනිවා මම ඔයාල කියපු දේවල් හිතලා බලන්නම්.
      ස්තුතියි මේ ගැන හිතලා බැලුවට.

      Delete
  30. මට දැනුයි නිශාන් ගැන වඩා හොඳ අවබෝදයක් ලැබුනෙ.

    විශේෂයෙන් DDT, අටම්, බ්ලොග් එකක් තියෙන ඇනෝ සහ මාරයා මට කියන්න දෙයක් ඉතිරි කරන්නෙ නැතුව හොඳම කමෙන්ට් දාලා තියෙනවා. ඒවා හොඳට කියවලා බලන්න.

    ඊට පස්සෙ ඕනෙම නම් ඔය රස්සාවටත් ගිහින් බලන්න. නැතිනම් හැමදාම මම අර රස්සාවට ගියානම් කියන පසුතැවිල්ල ඉතිරි වෙන්න පුලුවන් නිසා. ඒ එක්කම අම්මටත් දැනෙන්න අරින්න එපා ඔයා අම්මට පි‍ටුපාලා අම්මව අතහැරලා ගිය බව. අම්මා බැන්නත් ගැහුවත් අම්මට කරුණාවෙන් කියන්න අම්මෙ මට මේකත් කරලා බලන්න දෙන්න කියලා.

    වැඩ ඇරිලා ඇවිල්ලත්, නිවාඩු හැම වෙලේමත්, කොච්චර අමාරු වුනත් අම්මට උදව් කරන එක කරන්න. ඔය වයසෙ කොල්ලෙකුට ඕක කරන්න බැරි නෑ.

    අම්මා ඔහොම රළු වෙලා තියෙන්නෙ තමන්ගෙ පවුලේ පැවැත්ම සඳහා ගෙනගිය අරගලයේ ප්‍රතිඵලයක් හැටියට. ඔයිට වඩා සුකුමාල විදියට හිටියානම් අම්මට ඔහොම කරන්න ලැබෙන්නෙ නෑ. බලන්න අම්මා ඒත් සටන අතෑරියද කියලා. අම්මටත් තරුණ ගෑණියෙක් හැටියට වෙනත් මාර්ගයක ගිහින් ඕයිට ලේසියෙන් හම්බ කරන්නත් තිබ්බ බව මතක තියාගන්න. ඒත් ඒ අම්මා ‍තෝරාගත්තෙ දුශ්කර නමුත් නම්බුකාර මාර්ගය. අච්චරු, කරවල බිස්නස් එක ඊට වඩා කොච්චර නම්බුකාරද නිශාන්? අම්ම වෙනත් විවාහයක් කරගත්තෙත් නෑ නේද? සමහර විට ඔයාට තියෙන ආදරයට වෙන්න පුලුවන්.

    අම්මා දියවැඩියාවත් තියාගෙන නේද ඔය ඔක්කොම කරන්නෙ? බලන්න ඒ අධිශ්ඨානය සහ ධෛර්යය. මට මතක විදියට ඇඟිල්ලකුත් කැපුවනේ? මතකද අම්මා හොස්පිටල් එකේ ඉන්න කාලෙ අම්මට ඔයයි ඔයාට අම්මයි විතරයි නේද හිටියෙත්.

    මොන හේතුවකටවත් අම්මාව නම් නැතිකරගන්න එපා. මම කලින් වතාවක කමෙන්ට් එක දානවට වඩා වැඩි යමක් මම මේ පෝස්ට් එකෙන් අම්මා ගැන ඉගෙන ගත්තා. අම්මට ආදරෙන් කරුණු පැහැදිලි කරන එක නවත්තන්න එපා. අම්මා ඔයිට වැඩිය ඔයාට ඇහුන්කම් දෙයි ඔයාත් අවංකවම අම්මාට බිස්නස් එකටත් උදව් කරන බව තේරුනොත්. අම්මා තනිවුනා කියන හැඟීම ඈට ඇතිවෙන්න ඉඩ නොහැරියොත්. ඒ වගේම මතක තියාගන්න ඔය ජොබ් එකට ගියොත් පළමු පඩියෙන් අම්මට අත්‍යාවශ්‍ය පොඩි හරි තෑග්ගක් අරන් දෙන්නත් අමතක කරන්න එපා.

    අම්මට මේ පෝස්ට් එකයි කමෙන්ට්ස් ටිකයි බලන්න දුන්නොත් මොකද?

    සියල්ල යහපත් ආකාරයකින් නිමාවෙන්න කියලා මුළු හදවතින්ම පතනවා නිශාන්.
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
    Replies
    1. වෙනතැනක වැඩ කොලොත් එතැන දියුනු වෙයි. මෙතැන වැඩකොලොත් ඔය දෙන්නම දියුණු වෙයි.

      Delete
    2. හෙන්රි සර් කියන දේ මම හොඳට හිතලා බලන්නම්.මම අද වැඩට ගියා ඇවිල්ලා අම්මටත් උදව් කරා ඒ අතින් හෙන්රි සර් කියපු දේ මම කරලා තියෙනවා.අම්මා මට මීට වඩා හොඳ විදියකට ප්‍රතිචාර දැක්වුවොත් මම අම්මා කියන දේත් අහන්න කැමතියි.හැබැයි මට නිදහස ඕන.

      අම්මට මේක පෙන්වන්න? අම්මෝ.... වසලා හමාරයි.අන්තිමට මට බනියි බලපන් අර මාරයයි හෙන්රියි අටමයි කියලා තියෙන දේවල් කියලා.

      බලමුකෝ මොනවා වෙයිද කියලා.මම දන්නවා මට හැමදාම සැප,සතුට කියන ඒවාට වඩා ලැබුනේ දුක් කම්කටොලු.ඉස්සරහටත් ඒවම ලැබෙයි වෙනසක් නොවී.

      @කවිකාරි
      ඒකනම් කොහොමත් එහෙමයිනෙ.

      Delete
  31. yalu, umba jeevitha kaalema try kalath umbata ammawa anduna ganna be. E eya amma kenek nisa. Eka dayak mathaka thiya ganna. E amma kiyana anum padayaka unath pirila theyenne adarea. E adarea apita danenne godak pahu wela. Ethakota dukai. Man nam hithanne amma hari. Umbata weradune ne. Eth amma thamai hariyatama hari. Job 1 kata wada thamangema biz 1k dahas gunayakin watinawa. Eka dawasaka umbata therei. Anika thamange dawal diunu karaganna kepaweema ona. Jeevitha kaalema ekata kepawenna wai. Eth job 1kin nolebena sathuta lebei. Umba kiyana jeevithea nidahasa job 1ka ne banz. Eth karalama balapan, umba job 1ta giya kiyala amma tharaha wenne ne. Eya amma kenek nisa. Umba e athdakema aran hariyanawa nam digatama karapan. Weraduna kiyala hithunoth aya ammage hitha noriddana balaporoththuwen apahu waren. Amma umbawa baraganei. Adaraneeya anumpadayak ekka.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සහෝ අදහස් දැක්වුවාට.
      මේ කියලා තියෙන දේ ගැන මම හොඳට හිතලා බලන්නම්.

      Delete
  32. මගේ ප්‍රතිචාරය නම් "ජනප්‍රිය එකක්" වෙනඑකක් නෑ. ඒත් කියන්න තියන දේ කියන්න ඕන. මිනිස්සු කියන්නෙ විවිධ අවශ්‍යතාවයන් විවිධ ආශාවන් තියන සත්ව කොට්ටාසයක්. ඔවුන්ට තෝරාගැනීමේ අවස්ථාවල් ඕන තරම් තියනව. උඹත් එයින් එකෙක්. උඹටත් දැන් ඇවිල්ල තියනව තෝරාගැනීමේ අවස්තාවක්, අම්මගෙ බිස්නස් එක කරගෙන යනවද උඹේ කැමැත්තට රස්සාවක් කරනවද කියල. මම නං කියන්නෙ කවුරුහරි කිව්ව කියල උඹේ තීරණය වෙනස් කරන්න ඕන නෑ. ඒ වගේම තමුන් ගන්න තීරණයේ පලවිපාක 100%ක් තමන්ටම විඳින්නත් වෙන බව දැනගන්න. බිස්නස් එකට අකමැති නම් නොකර ඉඳපං. මොකද අකමැති දෙයක් ජීවිත කාලෙම කරන්න ඕන උනොත් මුලු ජීවිතේම නීරස වෙනව.
    මටත් එක් අවස්තාවක ආව ඔයවගේ දෙකෙන් එකක් තෝරාගන්න. මම තෝරාගත්තෙ "මගේ කැමැත්ත". අනිත් උදවිය වැඩි දෙනෙකුගෙ අදහසවුනේ ඊ‍ට ප්‍රතිවිරුද්ධ එක. නමුත් අද මම සතුටු වෙනව මගේ තේරීම ගැන. උඹට තියෙන්නෙ එච්චර අමාරු තේරීමක් නෙවේ.
    අම්ම ගැන කියන්න යන්නෙ නෑ. ධෛර්යවන්ත අම්ම කෙනෙක්. ඒ වගේම සමහර අම්මල, සමහර අවස්තා වල ආත්මාර්ථකාමී තිරණත් ගන්නව.

    ReplyDelete
    Replies
    1. මං ගත්ත තීරණය වැරදියි කියලා හිතෙන්න තරම් උඩ කොමෙන්ට වැටෙද්දී මම තාම වැරදි නැහැ කියලා හිතෙන්න හොඳ කොමන්ට් එකක් වැටිලා තියෙනවා.බොහොම ස්තුතියි සහෝදරයා මේ ප්‍රශ්නය ගැන හොඳින් හිතලා බැලුවට.

      Delete
  33. ජොබ් කරනවා කියන එකත් අපි හිතන තරම් සුන්දර නෑ අයියේ.
    කොහොමත් දෙමව්පියෝ දරුවෝ අතර ගැටීම් ඇති වෙනවා.
    එහෙම වුනා කියල අපිට එයාලව ගණන නොගෙන ඉන්න බෑ.ඔයා ජොබ් එකට යන්න.එතනිනුත් අත්දැකීමක් ගන්න.පස්සේ කාලෙක අම්මගේ බිස්නස් එකත දියුණු කරන්න අයියේ.අනුන්ගේ තැන්වල වා කරනවට වඩා තමන්ගේ තැනක වැඩ කරන එක ලේසි.එක අසහනයක් වෙන්නේ කරන්න ඕනි ක්‍රමේ හරියට දැනගත්තේ නැතුවම.
    මොනා වුනත් අයියේ කවදාවත් අම්මගේ හිතට දුකක් දෙන වැඩ කරන්න එපා..ඔයාගේ අමමා වගේ ගෑනු මේ ලෝකේ හිඟයි..
    ජොබ් එක වගේම කරන අනිත් වැඩ සාර්ථක වෙන්න ඕනි!
    අම්මටයි ඔයාටයි දෙන්නටම තෙරුවන් සරණයි!!

    ReplyDelete
    Replies
    1. මට හිතිච්ච දේම ඔයා කියලා තියෙනවා.බොහොම ස්තුතියි හිතුන දේ කිව්වට.බලමුකෝ වෙන දේකට මූණ දීලා.

      Delete
  34. මාරයා, අටම්, ඇනෝ, ඩූඩ් ඔක්කොම කියන්න තියන දේවල් කියලා මලයා,
    උඹ ඉන්නේ හීන ලෝකෙක බන්. ඔය කියන උලවු නිදහස නෑ බන් මේ ලොකේ,
    මට හිතෙන්නේ උඹ හිතෙන් සෑහෙන්න දුප්පත්, මේ ඒ කට සාක්ෂි.
    // පැද්දී පැද්දී තිබ්බ ලෑලි ගේක.ලෑලි ගේ කඩලා සිමෙන්ති මැට්ටෙන් ගේ බාගෙට හදාගත්තා.
    අදටත් තියෙන්නේ ඒ බාගෙට හදාගත්ත ගේ.ඒක නිසා මම ගෙදර ඉඳං ගත්ත එක ෆොටෝ එකක්වත් අප්ලෝඩ් කරලා නැහැ.
    හැමෝම තට්ටු දෙකේ ගෙවල් වල ඉඳං ගහපු ෆොටෝස් දාද්දි මම විතරක් කොහොමද බ්ලොක් ගල් බිත්ති වල ෆොටෝස් පෙන්වන්නේ?.//
    ඉස්සල්ලම උඹ අම්මට ආදරේ කරපන්, ඊට පස්සේ උඹට හරි මාර්ගේ පෙනෙයි

    ReplyDelete
    Replies
    1. අයියා හිතන්නේ මම අම්මට ආදරේ නැහැ කියලද?මම එදා ඉඳන් අද දක්වාම මම අම්මට පණ වගේ ආදරෙයි.ඒත් අම්මටවත් ඒක තේරෙන්නේ නැහැ :(

      Delete
  35. මල්ලි, පඩිය කොයිතරම් ලොකු එකක් උනත් කාගෙවත් තැනක ජොබ් එකක් කරද්දි තමන්ගෙ බිස්නස් එකක් කරනවා තරම් තෘප්තියක් ලැබෙන්නෙ නෑ, ඔයාට ඔය හිතේ වේදනාව වැඩිපුරම තියෙන්නෙ නිදහස නැතුව නෙවෙයි, අතේ සල්ලි ගැවසෙන එක අඩු නිසා කියලයි මට හිතෙන්නෙ. හොදම දේ ඔයාලගෙ බිස්නස් එක දියුණු කරන එක. නිකමට හිතන්නකො අම්මා තනියෙම ඔච්චර දුරක් ඇදගෙන ආවනම් තරුන කොල්ලෙක් වෙන ඔයාත් එකතු උනාම කොච්චර හොදට කරගෙන යන්න පුලුවන්ද ?

    "යාලුවො හැමෝම මෙහෙමයි එලියෙ තමයි ජොබ් කරන්නෙ.. මාත් එහෙම කරන්න ඕනෙ, එයාල එන්නෙ රෑ වෙලා මාත් එහෙම වෙන්නෝනෙ," ඔය වගේ හිතන්න එපා.. ඒක ඔයා ඔයාවම අවතක්සේරු කර ගැනීමක්.. හැම වෙලාවෙම තමන්ගෙ දේ ඉස්තරම් කියල හිතන්න.. බැරි වෙන්නෙ නෑ කවදාවත්..

    අනික තවත් එකක්, දරුවො කොච්චර ලොකු උනත් අම්මලට තාම කිරි සප්පයො ගානට පේන්නෙ, ඒක වෙනස් කරන්න අපිට බෑ, ඒක අම්මලා හරි ආසාවෙන් කරන දෙයක්. හැම වෙලේම අම්මත් එක්ක පැටලෙන්න යන්න එපා, ඔච්චර දුක් වින්දල ඔයාව ලොකු කරපු අම්මට මොනා නොහිතෙයිද ඔයා ඔහොම අකීකරු වෙනකොට..

    ජීවිතේ දිනන්න ජයම පතමි ...

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් අම්මගේ පැත්තෙනුත් හිතලා කොමන්ට් කරාට ස්තුතියි අක්කා.

      Delete
  36. විසිතුරු8/24/12, 1:07 PM

    මචන්, උඹට ඕනේ නිදහස. ඒ කියන්නේ ගෙදර බැම්මෙන් මිදිලා ඉන්න. නමුත් කොල්ලෝ උඹට පස්සේ වැටහෙයි ලොකු නිදහසක් රස්සාව නිසා ලැබුණත් ගෙදර තමයි ඉන්න හොඳම තැන බව.

    මම නම් කියන්නේ රස්සාවට යන්න. උඹ ඔය ආසා නිදහස විඳින්න. ටික කාලයක් යනකොට ඒ ජීවිතේ ගැන තේරේවි.

    අන්න එතකොට උඹටම පුළුවන් උඹට හරියන ජීවිතේ ගැන තීරණයක් ගන්න.

    ජය!

    -විසිතුරු-

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් අනිවා ටික දවසක් ගිහිල්ලම බලනවා.

      Delete
  37. ඔයාට හොදයි කියලා හිතෙනවනම් ඒ ජොබ් එකට යන්න. හැබැයි අනුන් ළඝ කරන ජොබ් එකකින් ඔයා බලාපොරොත්තු වෙන නිදහස හෝ ආත්ම තෘප්තිය ඒ හැටියෙන්ම ලැබෙයි කියා විශ්වාස කරන්න ඒපා. මමත් ජොබ් ගනනාවක් කරලා තියෙනවා, ඒත් එයින් අවසානයේ දි ලැබුණෙ කළකිරීම විතරයි.

    අනෙක් අය ඔයාට සෑහෙන්න උපදෙස් දීලා තියෙන නිසා මම වෙනත් යෝජනාවක් කරන්න කැමතියි. ඔයාට ආසාවක් ඇතිකරගන්න පුළුවන්නම්, "නිවාස සැලසුම් ඇඳීම" ගැන හිතලා බලන්න. දැනට ඔයාට තියෙන සම්පත් ප්‍රමාණයටත්, ඔයාලගේ බ්ස්නස් එකටත් ඒ හා ලැබිලා තියෙන සමාජ සම්බන්ධතාවලටත් මනාව ගැලපෙන රස්සාස ඒකයි. (මම කරන්නෙත් ඒක)
    ඔයාට ඒ වෙනුවෙන් මාස 6ක විතර කෝස් එකක් කරන්න වෙනවා.(AutoCad තනියම වුනත් ඉගෙනගන්න පුළුවන්) ඒකටනම් අම්මගෙන් විරෝධයක් එල්ලවෙන එකක් නෑ.

    ReplyDelete
    Replies
    1. මට උදව් කරන්න පුලුවන්ද? අයියා?

      Delete
  38. පොස්ට් එක කියවන්න පටන් ගද්දිම තේරුනා පට්ට හිතේ අමාරුවෙන් ලියන එකක් කියලා,කට්ටිය ගොඩක් ගොඩක් ඒවා කියලා තියෙනවා මඩයට කියන්න දේවල් ඉතුරු වෙලා නෑ.එත් එක දෙයක් තියෙනවා අම්ම උඹට කටින් කොච්චර බැන්නත් හිතින් දොස් තියන්නේ නෑ.ඒ මනුස්සයා මෙච්චර දවසක් උඹව හදාලා දැන් එක පාර අතැරලා දාන්නේ නෑ.ඔය ජොබ් එක ටික දවසක් කරද්දී තීරණය කරපන් මොකද්ද වැඩිය හොද කියලා.ඊට පස්සේ පස්සේ තියෙන හොදම තීරණේ ගනින්

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් හිතේ අමාරුවෙන් තමා බන් ලිව්වේ.ඔව් මම දැන් මේ ජොබ් එකට යනවා පස්සේ වෙන දෙයක් බලනවා බං.

      Delete
  39. රස්සාවක් කරන එක නම් හොඳයි. ඒත් තමන්ගේ කියලා දෙයක් කරගෙන දියුණු වෙන එක ඊටත් වඩා හොඳයි. කෙනෙක් යටතේ වැඩ කරනවාට වඩා තමන්ගේ කියන හැඟීමෙන් තමන්ගේ දෙයක් දියුණු කරගෙන ඉන්න එක හොදයි.

    මට නම් හිතෙන්නේ අම්මගේ හිත රිද්දලා ගන්න සල්ලි වලට වඩා අම්මයි උබයි දෙන්නම එකතු වෙලා ඔය බිස්නස් එක දියුනු කරගෙන ජීවත් වෙන එක හොදයි කියලා.

    රස්සාවක් කරන ගොඩ දෙකෙන් හිතන්නේ කොහොමහරි තමන්ගේ කියලා බිස්නස් එකක් දියුණු කරන්ඩ. ඒත් මේකා තියෙන බිස්නස් එකත් පැත්තකට දාලා යන්ඩ හදනවා !!!

    ReplyDelete
    Replies
    1. මට සල්ලි වලට වඩා නිදහසයි ඕන මධු අයියා.
      අම්ම මට නිදහස දෙන්නේ නැහැ :(

      Delete
  40. කිව යුතු දේවල් උඹ ගැන හොඳට දන්න අටම්පහුරත් , මාරයාත් කියල තියනවා ඒකට අමුතුවෙන් එකතු කරන්න දෙයක් නැ කොහොම වුනත් උඹ තෝරගන්න ඕනිම පාරකින් අනාගතය යහපත් වෙවා කියලා ප්‍රාර්ථනා කරන්නම්

    ReplyDelete
    Replies
    1. ස්තුතියි බුවා අයියා ඒත් මොනවා හරි කියලා ගියා නම් හොඳයි.

      Delete
  41. ane manda ayya kiyanna dewalnam hithata ennene.........oyata hodai kiyala hithena de karanna.oyage amma oyata godak adare athi ayya,ekai ohoma kiyanna aththe.anika nishan ayye...oyata kiyanna be oyata yaluwo ne kiyala,ethakota api kawuda??? hamadema hodin sidda wenna kiyala prarthana karanawa ayya........!!!

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් ඔව් නංගි වෙන දෙයක් බලමුකෝ

      අනිවා ඔයාලා යාළුවො තමා ඒකනේ මෙහෙම එකක් ලියලා ඔයාලට කිව්වේ.

      Delete
  42. උපදෙස් නම් දෙන්න දන්නෑ මචන් මමත් තාම පොඩ් එකෙක් ඒ නිසා පරක්කු වෙලා උනත් සුභ පතනවා උඹට ජිවිතේ ජය ගන්න ලැබේවා කියලා

    ReplyDelete
    Replies
    1. පස්සේ දැක්කේ මේක උඹේ 99 වෙනි පොස්ට් එක කියලා සුභ පැතුමි ආ බ්ලොග් එකටත් 100 න් හම්ප වෙලා ඉතුරු ටික කියන්නම්

      Delete
    2. සුභ පැතුම් ඔක්කොටම තෑන්ක්ස් මචෝ.මහේල වගේ මඩිස්සත් 99න් දැවී යයිද දන්නේ නැහැ.

      Delete
  43. මේ කතාව මගේ දෑස තෙත් කිරීමට හේතුඋනා. ඇත්තටම දුක හිතෙන කතාවක්. මට හිතෙන හැටියට අපි කොල්ලෝ ව්දියට අනිවා ජොබක් කරන්න ඕනේ මම ජොබ් එකක් කරන්නේ වයස අවුරුදු 15 ඉඳන් ඕලෙවල් කාලේදී දැන් 23ක් දැනටත් කැම්පස් යනගමන් ජොබ් එක කරන්නේ. ජීවිතේ කාගේවත් හිතන තරම් සුන්දර නැහැ. නමුත් කොල්ලෝ මම අවංකවම ඔයාගේ තීරණය අගය කරනවා ඒ වගේම අලුත් රස්සාවට සුබ පතනවා අම්ම එක්ක ප්‍රශ්නෙටනම් කියන්න තියෙන්නේ. ඕවා හරියාවි. අම්මල කවදාවත් දරුවෝ එක්ක තරහ වෙන්නේ නැහැ. නැත්නම් මම කරලා තියෙන දේවල් වල හැටියට මම අද අනාතයෙක්. මටත් හිතෙනවා බ්ලොග් එකට මගේ කතාවත් ලියන්න ඉදිරියේදී. කියන්න තියෙන්නේ බොක්කෙන්ම දිනෙන් දින දියුණුවට පත්වේවා කියල.

    ReplyDelete
  44. නිශාන් මල්ලි, උඹට මතක ඇති කියල හිතෙනවා මම මීට කලින් පෝස්ට් එකකත් මම උඹෙන් ඇහැව්වා මතකද...අම්මත් එක්කමයි ගමන කියල...මේ ගැන මම අන්තිමට කියන්නම්....
    මගේ තාත්ත මේසන් බාස් කෙනෙක් මගේ පෝස්ට් කියෙව්වනම් දන්නව ඇති.හැබැයි හෙඩ් බාස් කෙනෙක් ගෝලයො 50ක් විතර හිටියා.(කෙටියෙන් කියන්නම්) එයාට ඕන උනා මාවත් එයාවගේ පොරක් කරල් ඒබිස්නස් එක දිගටම කරන් යන්න.මට මේසන් වැඩ උගැන්නුවා ...හැබැයි ඒ ලෙවල් ඇන ගත්තට පස්සෙ...මමත් ..ටික දවසක් ගියා බැනුම් ඇහැව්වා අම්බානක..හැබැයි මට උප්පත්තියෙන් ආපු දෙයක්ද මන්දා වැඩ අහු උනා.ඒත් මම නැවතුනා ගෙදරින් බැනුම් ඇහැව්ව. ඊට පස්සෙ එක එක කෝස් කලා හරිගියේ නැහැ. අන්තිමට මටම තේරුනා මට ඉවෙන් ව්ගේ යම් දෙයක් එකවර අවභෝද වන්නෙ මේ වෘත්තියෙන් කියල . මම ඉගෙන ගත්තා..ගෘහ නිර්මාණ ශිල්පියෙක් වෙන්න .පියා මේකට සතු‍ටු උනා .කෙටියෙන්ම කිව්වොත්...ඔහුගේ වෘත්තියේ ඉහලට යාමක්නෙ.....ඔයාගෙ අම්මා බලාපොරොත්තු වෙන්නෙත් ඒවගේ දෙයක් තමන් ඉන්න ක්ෂේත්‍රයේ ඉදිරියට ඔයාව යවන්න තමා අම්ම ආස...ඔයා ජොබ් එක්කට යන්න කලින් වෘත්තීය පුහුනුවක් ලැබිය යුතුමයි.
    මුල් කාරනේ ..නැවත..!අම්ම ඔයාට බැඳිල ඉන්නෙ සමහර විට ඕක මානසිකවත් බලපාන ප්‍රශ්නයක්..ඔයා විවාහයක් කරගන්න ගියාම හරි ප්‍රශ්නයක් වෙනව...ඒ නිසා අම්මත් එක්ක සාමූහිකව ඔයාගෙ නිදහස කියන්නෙ මොකක්ද කියල වටහල දෙන්න උත්සාහ ගන්න ..මේ ගැන තව විස්තර උදා..ඇතිව ලියතෑකි ඒත් දිගයිනෙ දැනටමත්.

    ReplyDelete
    Replies
    1. අනිත් එක අවු20ක් නම් ජොබකට යන්න හදිස්සි වෙන්න එපා අම්මත් කැමති සබ්ජෙක්ට් එකක හොඳ වෘත්තීය පුහුනුව්ක් ගන්න ඉස්සෙල්ල.
      මම අවු27දී වෘත්තීය පුහුනුව ලබල ඉවර උනේ.

      Delete
  45. මට හිතාගන්නත් අමාරු වුනා මචන්. මේ උඹේ කතාවද කියල. අපේ ජීවිත වල හැංගිච්ච කතා කොච්චර නම් තියනවද.? මම විශ්වාස කලේ නෑ. කමෙන්ට් කියවල ඇත්තක් කියල හිතුවේ. මචන් මොන දේ මොන ප්‍රශ්නේ ආවත් මොලේ පාවිච්චි කරලා තීරණ ගනින්. කෙටි කාලෙකට විසඳුමකට ගහන තුරුම්පුවකට වඩා ජීවිතේ ගැන හිතල ගහන තුරුම්පුව වටිනවා මචන්. සුභ පැතුම් මචන් මඩියෝ

    ReplyDelete
  46. ජය වේවා සහෝදරයා

    ReplyDelete
  47. මට ලියන්න අකුරු ටයිප් වෙන්නේ නැහැ සහෝ ..................................................................................................................................................................................................................................................................................................................................................................................................................

    ReplyDelete
  48. කෙටියෙන්.

    1. තමන් ගැන අවතක්සේරු කරගන්න එපා.
    සිමෙන්ති මැටි වුනත් ඒ ඔබේ නිවස නම් එය ඔබේ නිවසයි. තමන් ගේ බ්ලොග් එක සහ ඒවායේ යන ලිපිත් එලෙසමයි.

    2. අම්මා බැන්නාට දුක්වන්න එපා. ඇය ගැන අහිතක් ඇතිකර ගන්නත් එපා. අම්මා කට්ට කෑවේ ඔබ හින්දා යි. ඒ ගැන ඇගේ යටි සිතේ පොඩි හෝ දුකක් ඇති. සිංහල අපිට වැඩියෙන් කියවෙන්නේ නෙගටිව් දේවල්. හොඳ සිතුවිලි සිත ඇතුලේ.

    3. ඒ මොනවා වුනත් තමන් කැමති දෙයක් කරන්න යන එක හොඳයි. අම්මාටත් ඒ බව පසුව තේරෙයි.

    මගේ සුභ පැතුම්.

    ReplyDelete
  49. කමෙන්ට් ටිකෙන් උඹට ගොඩක් දේවල් ඉගන ගන්න තියනවා කියලා හි‍තෙනවා..හැම දේකම දෙපැත්තක් තියනවා මචං. ඒක හින්දා ටිකක් අමාරුයි කොමෙන්ටුවක් උනත් දාන්න..සුභ පතනවා අනාගතේට...ජය...

    ReplyDelete
  50. කිව යුතු දේවල් හැමෝම කියලා තියෙන්නේ. ඒවා මැනවින් කියවලා බලලා තේරුම් ගන්න එක ඔබට බාරයි

    ReplyDelete
  51. ඔබේ සංවේදී පෝස්ටුව කියවා මමද සංවේදී වූවෙමි... ඔබේ චරිතය මට ආරූඩ කරගෙන මම විසදුමක් හොයන්න උත්සාහ කලා... ඔබේ මව ඔබ වෙනුවෙන් කැප කිරීම් කර ඇති ආකාරය අනුව ඔබ හොද පුතෙක් නම් කවදාවත් ඇය හැර යන්න බෑ... එතුමිය ඒ තරම් උතුම් කාන්තාවක් බවයි මගේ හැගීම... මුලින්ම ඇයට දීර්ඝායුෂ සමග නිරෝගි සුවය ප්‍රාර්ථනා කරනවා...

    අපි අපිට නැති දේ ගැන දුක් වෙන්නෙ තවත් කෙනෙක් සමග සසදන්නට යන නිසයි... ඒ නිසා තමන්ට නැති දේ අනිත් අයට ඇති දේ සමග සසදන්න යන්න එපා... ඔබේ අවශ්‍යතා ඉටු කර ගැනීමට මුදල් සොයාගැනීමේ අරමුණින් රැකියාවක් සදහා සම්බන්ධ වන බව පැහැදිලියි... ප්‍ර‍ශ්නය අම්මා ඒ බව තේරුම් නොගැනීම... මේ පිළිබද සමාජයේ පිළිගත් අයකු ලව්වා අම්මා දැනුවත් කලොත් විසදුමක් ලැබේවි කියා සිතනවා...
    උදා - පන්සලේ නායක හාමුදුරුවො / විදුහල්පති කෙනෙක්.... ආදී....

    ReplyDelete
  52. මල්ලියා.. මගෙ මේ කොමෙන්ට් එකත් නයෙක් වේවිද දන්නෙ නෑ...ඒත් කමක් නෑ මේ ටික කියන්නම ඕනෙ..මාත් රස්සාවක් කරන්න පටන් ගත්තෙ මගෙ නිදහස ආත්ම තෘප්තිය ලබා ගන්න ඕනෙ නිසා..අම්ම මුලදි හොඳටම අකමැති උනා..මට ඕනෙ කරන හැම දෙයක්ම මගේ අම්මගෙන් ලැබෙනවා..අයියල ඕනවටත් වඩා ඉහලින් එයාලගෙ යුතුකම් ඉටුකරනවා..ඒත් මට ඕනෙ මගේම අතින් හම්බ කරන දේකින් ලබන සතුට..!! ඒක නිසා මම ජොබ් එකකට ගියෙ..ඇත්තටම ඒක ලොකු සතුටක් තෘප්තියක්..
    අම්මල කියන දේවල් පිලිගන්න ඕනෙ තමා..ඒත් සමහර වෙලාවට එයාල දරුවන් වෙනුවෙන් අසීමිතව ආත්මාර්තකාමී වෙනවා..එහෙම කරන්නෙ අපිට ආදරේට තමා..ඒත් ඒක බොහෝ වෙලාවට අපේ සතුට නැති කරනව..

    ඔයා අලුත් ජොබ් එක කරගෙන යන්න..සමහරුන්ට ජොබ්ස් වලින් කරදරම මිසක් සතුටක් විනෝදයක් ලැබෙන්නෙ නැහැ..ඒත් සමහරු වාසනාවන්තයි..ඔයත් ඒ වාසනාවන්තයො ගොඩට වැටෙන්න කියල මම ප්‍රාර්තනා කරනව එක හිතින්..!! ජොබ් එක කරල බලන්න..ඒ අතරම වෙනසක් නොපෙන්වා අම්මට එයාගෙ ලී බිස්නස් එකටත් පුලුවන් විදියට ඔයාගෙ සහයෝගය දෙන්න....

    ඔයා සතුටින් ඉන්නව දකිද්දි අම්මත් තරහ අමතක කරල ඔයාගෙ ජොබ් එකට කැමති වේවි අපේ අම්ම වගේ..මගේ සුභ පැතුම් මල්ලී..!!

    ReplyDelete
  53. පුතා. මට ඔයාගේ වයසේ දරුවෙක් ඉන්නවා. මේ බ්ලොග් එකේ ගොඩක් අය හොඳ අවවාද දීලතියෙනවා. ඒවා කියවලා තමුන්ගේ තෙරණේ තමුන්ම ගන්න ඕන. ඔයා ලියල තියෙන දේ වලට වඩා තවත් දේවල් ඇති නොලියු.. හැබැයි අවුරුදු විස්ස කියන්නේ රස්සාවකට ගිහින් ලොකු දුරක් යන්න පුළුවන් වයසක් නම් නෙවෙයි.. අර අටම්පහුරගේ ලියවිල්ලෙන් පස්සේ ගොඩක් පරිනත යය ලියල තියෙන දේ වලින් ඔයාට හිතන්න ගොඩක් දේවල් දිග හැරෙනවා. මම රස්සාවල් ගොඩක් කල මිනිහෙක්..එක ආයතනයක පහලින් පටන් අරන් ඉහලම තැනටත් ගිහින් දමල ගහල ගිය මිනිහෙක්.. නිදහස කියන්නේ මොකක්ද කියල තේරුම් ගන්න පුතා තවම ලාබාල වැඩියි.. අනුන් යටතේ වැඩ කරන එක කරුමයක්.. ඒක නිදහසක් නෙවෙයි.. මගේමය කියලා ස්වාධීන දෙයක් නොකිරීම ගැන මම අද කනගාටු වෙනවා. එහෙම කළා නම මම අද නිදහස්.. අම්ම ඔයා රස්සාව කළා කියල ඔඋයාව ඇත හරින්නේ නැහැ.. අම්මලා එහෙමයි.. මගේ නම් අවවාදේ තවදුරටත් ඉගෙන ගන්න ගමන් අම්මටත් සහාය වෙලා ඔය ව්‍යාපාරේ දියුණු කරගන්න කියන ඒකයි.. මාත් එක්ක තරහ වෙයිද මන්දා එත් ඔය මගේ අවංක අදහස.. අනුන් යටතේ වැඩ කරබ්නවට වඩා තමුන්ගේ බුලත් කඩේක බුලත් විකුණන එකත් නම්බුයි පුතා. නිදහස කියන්නේ ඔය ඔයා අද හිතන ලපටි නිදහස නෙවෙයි.. ඔලුව කෙලින් තියන් මම මගේ බොසා කියන නිදහසයි..

    ReplyDelete
  54. මම රස්සාව කරන්න ගත්තේ අවුරුදු 20 දී. එදා ඉඳලා අද වෙනකම්ම මම රස්සා කරනවා. බොහොම පුංචි රස්සාවක ඉඳලා අවුරුදු අටක් කඹුරලා අද මම තැනක ඉන්නවා.. ඒත් නිවාඩුවක් ගන්න ගියාම, මගේ පවුලේ කෙනෙක් එක්ක රැඳෙන්න ගියාම මට තියන ප්‍රශ්න..මම ගොඩක් වෙලා හිතන්නේ දැන් නම් මගේම කියලා ව්‍යාපාරයක් පොඩියෙන් හරි කරන්න. එහෙම නැතිනම් ඉතින් වැඩක් නෑ..

    ReplyDelete
    Replies
    1. සීයට සුභ පැතුම් නිශාන්.. මම හිතුවේ අවුල මට විතරක් කියලා.. මැෂින් දෙක තුනකම ට්‍රයි කළා..

      Delete
  55. 100ට සුබ පතන්න ඒ පෝස්ට් එකේ කමෙන්ට් දාන්න බෑනෙ නිශාන්!
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
  56. ඔබ 100..මම අද 50 සම්පුර්ණ කළා :)

    ReplyDelete
  57. ඔක්කොම කමෙන්ට් කියවල අවසන් කරන්න බැරිවුනේ වෙලාව පිලිබඳ ප්‍රශනයක් නිසා. මා කියන්න තියෙන්නේ එක දෙයි. රස්සාව කලොත් ඔයා ඒ අයිතිකාරයාගේ ව්‍යපාරයේ නමැති ගෙයි එක් ගඩොලක් පමණයි. ඒත් අම්මගේ ව්‍යපාරය නමැති ගෙයි ඔයා බර දරා සිටින ප්‍රධාන බාල්කය. මේ බාල්කය ඉවත් කලොත් මේ ගේ කඩා වැටෙන්න පුළුවන්. ඒත් අර ගඩොල අයින් කරලා වෙන ගඩොලක් තියන්න අර ව්‍ය්පාරිකයාට කැමති දවසක පුළුවන්. ඔයාට හොඳක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.

    ReplyDelete
  58. මමනම් කියන්නේ ජොබ් එක ටික කාලයක් කරලා බලපන් මචං.ටික ටික ජොබ් එක කරන තැන ලොක්කන්ගේ හිත දිනාගෙන වැඩ කරලා බලන්න.එතන උනන්දුවෙන් වැඩ කලොත් හොඳ තැනකට යන්න පුලුවන්.අම්මගේ හිත රිද්දන්නේ නැතුව හොදින් කතා කරලා මේව විසඳාගන්න.මේ විදිහට ගොඩක් දුක් විඳලා සමාජයේ ඉහල තැන් වලට ගිය අය ඉන්නවා.උත්සාහය,කැපවීම,උනන්දුව තිබුනොත් මඩිස්සට උපරිම තැනකට ගියෑකි.එතකොට මඩිස්සලේ තර වෙන්නත් පුලුවන්.මේ අදහස් ටික අන්තර්ජංජාලය.නිකමාගේ-වැඩ.බ්ලොග්ඉස්පොට්.කොම්පැනි වෙතින්.

    ReplyDelete
  59. ඉන්ටනෙට් තියෙනවා නේද?බලපන් ඉන්ටනෙට් වලින් සල්ලි හොයන්න. ජයවේවා!

    ReplyDelete
  60. ginilihiniya.blogspot.com යන්න.

    ReplyDelete
  61. බොක්කෙන්ම සුභා කියනවා....

    ReplyDelete
  62. 100ට සුභ පැතුම් සහෝ.. එකේ කමෙන්ට් කරන්න බැ..
    ජය වේවා... :)

    ReplyDelete
  63. matanm kiyanna thiyenne mage jiwthayata boho sambanda kathawak wage machan matnam M@f dennama innawa mama hedune ape puchi gawa den nam gedara thama inne mama first time job kare 17 di job eka thama athwead dunne 3days giya mata hithune ape demawu piyo api wenuwen kochara duk widinawada kiyala ewelawe. uba hithana nidahasa ne me loke mama dakina widihata ammath poddak weradi ewunath eka ammage pathen sadaranai exp eken kiyanne ape patheth innawa eyath ohoma thama thamnge lamyata kohewath yanna denne ne 19 k wenawa machan. amma karapu ekama werada nidahasa ahimi karapu eka,.

    ReplyDelete
  64. අද තමයි මේක කියෙවුවෙ මල්ලි.

    ReplyDelete

හිතට දැනුන පුංචි දේ හරි කියලා යන්න ඒක මට ශක්තියක්.යාලුවනේ ඔයාලට බ්ලොගර් ප්‍රොෆයිල් එකක් තියෙනවා නම් වෙලාවක් තියෙනවා නම් තවමත් ෆලෝ කරලා නැත්තම් ෆලෝ පාරකුත් දාලා යන ලෙස ඉල්ලා සිටිනවා!